ඉතිහාසය

Primary tabs

ඉතිහාසය

1989 ජුලි මස 16 වැනිදා ඇසළ පුර පසළොස්වක දිනයක් විය. භාග්‍යවත් බුදු රජාණන්වහන්සේ ප්‍රථමවරට ස්වකීය ධර්ම චක්‍රය ප්‍රවර්තනය කළ එම පින්වත් මොහොත සිහි කොට, කැනඩාවේ වැන්කුවර් නගරයේ බෞද්ධයන් 40 දෙනෙකු පමණ යම් කිසි සුවිශේෂ අදහසකින් එනුවර පිහිටි  එච්. ඩබ්ලිව් ප්ලෙචර් සමාගම් ගොඩනැගිල්ලට එක් රැස්විය. ඒ වෙන කවරක් සඳහාවත් නොව, අමාමෑණී බුදු පියාණන් වහන්සේ විසින් සියළු ලෝකවාසී සත්වයන් කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ, සුපිරිසිදු ධර්මය ශ්‍රවණය කිරීමේ අදහසිනි. සැබවින්ම ඔවුන්ගේ එම අපේක්ෂාව සඵල විය. ඥාණාලෝකය උදාකරන ඒ සුපිරිසිදු ශ්‍රී සද්ධර්මය ඉතා පැහැදිලි ලෙසම, දේශකයන් වහන්සේ වෙතින් ඔවුන් හට අසන්නට ලැබිනි. ධර්මශ්‍රවණයෙන් අනතුරුව, හිස් වැස්මක් එකිනෙකා අතෙහි හුවමාරු කරන ලදුව, ධර්ම දේශනාව පැවති ගොඩනැගිල්ලෙහි කුලිය සඳහා මුදලක් එක් රැස් කරන ලදී.
 
අවසානයේදී, සියළුදෙනාගේ සමඟිසම්පන්න සම්මුතිය බවට පත් වූයේ සාකච්ඡාව සෑම මසක් පාසාම පැවැත්විය යුතු බවය. ඉන් පසුව යෙදුනු සෑම මසකම එක් දිනයක් මෙම සාකච්ඡාව වෙනුවෙන් වෙන්විය. වැන්කුවර්හි ජැක්සන් මාවතෙහි පිහිටි ජපන් විහාර ගොඩනැගිලි පරිශ්‍රය හෝ කොන්කුට්ලම්හි ටොෂෙන්ජි ෂෙයිෂාන් බෞද්ධ විහාර පරිශ්‍රය මේ සඳහා ස්ථානය වශයෙන් තෝරා ගැනිණි. හුදෙක් මෙම දිනය සාකච්ඡා පමණකින් අවසන් නොවුනු අතර, කුඩා දරුවන් ප්‍රමුඛ කොට සියළු දෙනා සඳහා වන ආධ්‍යාත්මික සංවර්ධන වැඩමුළුද, බෞද්ධ භාවනා මාර්ගය පිළිබඳ වූ වැඩමුළුද, ඉරිදා දින දහම් පාසලක් සඳහා වන මූලික පුහුණුකිරීම් වලින්ද සමන්විත විය.  මෙම වැඩසටහන් ඉතා උසස් මට්ටමින් සංවිධානය වූවා සේම, බෞද්ධ ප්‍රතිපත්ති මාර්ගය දියුණු කිරීමට නිත්‍ය මධ්‍යස්ථානයක අවශ්‍යතාවයත්, ඒ සඳහා සුදුසු ස්ථානයක් මිලදී ගැනීමේ අපේක්ෂාවත්, බොහෝ දෙනාගේ සිත් සතන් තුළ මෝදු වන්නට විය. කෙසේ හෝ මෙහි ප්‍රථිඵලයක් වශයෙන් නිත්‍ය බෞද්ධ මධ්‍යස්ථානයක් සඳහා වන අරමුදලක් පිහිටුවීමට පියවර ගැනීම, වැන්කුවර් ආශ්‍රිත සිංහල හා අනෙකුත් ගිහි බෞද්ධයන්ගේ අදහස්  මල් පළ දැරීමක් විය.
 
1989 නොවැම්බර් මස 12 වැනි දින පැවති දානමය පුණ්‍ය කටයුත්තක් අවසානයේ, රැස්වූ පිරිස විසින් නිරායාසයෙන්ම ගනු ලැබූ තීරණයක් විය. එනම් ඉදිරි කාලය ධර්මය බෙදා හැරීම වෙනුවෙනුත්, ආධ්‍යාත්මික සංවර්ධනය සඳහාත් අවශ්‍ය තෝතැන්නක් ලෙස බෞද්ධ විහාරයක් ඉදි කළයුතු බවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, 1989 නොවැම්බර් මස 15 වැනි දින පළාත් ලියාපදිංචිකාරතුමා වෙත අයදුම්පතක් යවන ලදුව, 1990 වර්ෂයේ මුල් භාගයේදීම එම ප්‍රයත්නය මල්ඵල ගැන්වීම, මේ වෙනුවෙන් බොහෝ කැපවීමෙන් ක්‍රියා කල සැදහැති බෞද්ධ පිරිසට මහත් සැනසිලිදායක කාරණාවක් විය.  බ්‍රිටිෂ් කොලොම්බියාහි බෞද්ධ විහාර සංගමය යනුවෙන් නම් කරන ලද, මෙම සමඟිසම්පන්න එකමුතුව සැදහැතියන්ගේ පුණ්‍යාධාර මත ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත්විය. 1990 වර්ෂයෙහි ජනවාරි මස 7 වැනි දින මෙහි සමාරම්භක සැසිවාරය පැවැත්වූයේ, පහත නම් සඳහන් අධ්‍යක්ෂක මඩුල්ලෙන් යුක්තවය. ගරුතර සීලවිමල නාහිමිපාණන් වහන්සේ මුලසුනෙහි තබා, කීර්ති සේනාරත්න, පුණ්‍ය සහබන්දු, ඇන්ඩි විකී, හෙන් රි සුභසිංහ, ලක්ෂ්මන් පෙරේරා සහ නාරද සමරසිංහ යන මහත්ම මහත්මීන් එහි විය. පළමුකොට ලියාපදිංචි සමාක්ජික පිරිස 17 වූ අතර, නිත්‍ය සමජිකයෙකුද සහිතව මුළු සාමාජික පිරිස 18 බවට පත් විය.

ඒ අනුව 1990 මර්තු මස 05 වැනි දින සිට පහත සඳහන් ව්‍යවස්ථාපිත අරමුණු පෙරදැරිව බෞද්ධ විහාර සංගමයෙහි නීත්‍යාණුකූල ආරම්භය සිදුවිය.

  1. ථෙරවාද බෞද්ධ සම්ප්‍රදායට අනුගතව බෞද්ධ ධර්මය ඉගෙනීම හා ප්‍රායෝගික පුහුණුව.
  2. දේශන, ඉගෙනීම් කණ්ඩායම්, බෞද්ධ ප්‍රකාශනයන්, ශීල සමාදානයන් සහ බෞද්ධ උත්සව අවස්ථ යනදිය ඵලදායි ලෙස යොදා ගනිමින් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ලොඅක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව ප්‍රචාරනය කිරීම.
  3. උක්ත (1) හා (2) හි සඳහන් කරන ලද අභිමතාර්ථයන් සාක්ෂාත් කරගනුවස් බෞද්ධ විහාරස්ථානයක් ස්ථපනය කිරීම.

බෞද්ධ විහාර සංගමයෙහි ප්‍රථම පුවත් සංග්‍රහය 1990 පෙබරවාරි මස ප්‍රකාශයට පත්විය. එහි විශෙෂ කොට දක්වා තිබුනේ අරමුදල් ප්‍රමාණවත්ව ලැබුනහොත් බෞද්ධ විහාරයක් පිහිටුවීමේ කටයුත්ත වසර දෙකක් පමණ අතුලත සිදු කිරීම සුදුසු බවයි. මෙයින් පසු අපගේ මාසඉක එක්‍රැස්වීම් නොකඩවා සිදුවිය. එසේම පූජ්‍ය හේනාපොල ගුණරතන හා මඩවල පුන්නජී යන තෙරවරුන්ගේ මෛත්‍රී සහගත උපකාරයන් අතිව  බොහෝ අවස්ථාවල බෞද්ධ භාවනාව ප්‍රගුන කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද අපහට හැකිවිය. වෙසක් දිනය වෙනුවෙන් ආර්‍ය උපොසථය සමාදනයද, පිරිත් සජ්ඤායණයක්ද, පසුදින සංගත මාහා දානයක්ද සංවිධානය වූ අතර, සැබවින්ම එය ඉතා උතුම් වූ බුද්ධ පූජාවක් විය. සුපින්වත් ධර්මසිරි විජෙරත්න මහතා අතින් නිමැවුනු අලංකාර පිරිත් මංඩපය කාගේත් සිත් පහන් කිරීමට සමත්වූ අතර එයද මනාම බුද්ධ පූජාවක් විය. ම්සෙසේ සමාරම්භය බොහෝ සෙයින්ම සාර්ථක විය. විහාරය ඉදිකිරීම සඳහා අපේක්ෂිත මුදල ඩොලර් 30,000 වූ අතර, අවුරුදු 2 ක් පමණ ගතවන විට එකතු වූ මුළු පුණ්‍යාධාර වටිනාකම ඩොලර් 11,000 ක් පමණ විය. 

මේත් සමගම බෞද්ධ විහාර සංගමයෙහි ක්‍රියාකාරිත්වය ඉතා ඉහල මට්ටමකට ගෙන ඒමට අපට හැකිවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන්, භික්ෂූන් වහන්සේලාගේ වැඩමවීමෙන් සිදුකෙරුනු ශීල භාවනාමය වැඩසටහන්, මාසික පුවත් සංග්‍රහයන්, ධර්ම දේශනා, වෙසක් මංගල්‍යය වැනි සමාජ ආගමික වැඩසටහන් යනාදිය බෞද්ධ විහාර සංගමයේ මූලිකත්වයෙන් ඉතා සුලඹ්හව සංවිධානය කරන්නට යෙදුණි. නමුදු ඒ වනවිටද විහාරය සඳහා වන නඩත්තු අවශ්‍යතාවයන් සැපිරීමට හැකිවන පරිදි සාමාජික සංඛ්‍යාවෙන් අප පෝෂණය වී නොතිබුණි. එවන් වූ පරිසරයක් තුල වුවද, අප සංගමය එහි මූලික අභිමථාර්තයන් සඵල කරගනුවස් ඉතා උද්යෝගීමත්ව සේවය කලෝය. මෙවන් වූ වකවානුවක අප හා සමානව අරමුණු සහිතව කටයුතු කරන මියැන්මාර බෞද්ධ සංගමය අප හා අත්වැල් බැඳගැනීමට කැමති විය. ඒ අනුව ඉත සුහදශීලී සාකච්ඡාවක් අවසානයේ දෙපක්ෂය විසින් ගන්නා ලද තීරණය බවට පත්වූයේ, විහාරයක් සඳහා සුදුසු ගොඩනැල්ලක් බද්දට ලබා ගැනීම මූලිකව සිදුකල යුතු බවයි.